පුටින් ආක්‍රමණිකයෙක්, ඝාතකයෙක් - සෙලෙන්ස්කි කියයි
ඩොනල්ඩ් ට්‍රම්ප් ව්ලැඩිමීර් පුටින් "මගේ මිතුරා" ලෙස හැඳින්වීම සහ අත්‍යවශ්‍ය ප්‍රති-බැලස්ටික් මිසයිල ලබා දීම ප්‍රමාද වීම යුක්‍රේන ජීවිත බිලිගන්නා බව, වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් ව්ලැඩිමීර් පුටින් “මගේ මිතුරා” ලෙස හැඳින්වීම සහ අත්‍යවශ්‍ය ප්‍රති-බැලස්ටික් මිසයිල ලබා දීම ප්‍රමාද වීම යුක්‍රේන ජීවිත බිලිගන්නා බව පවසමින්, වොලොඩිමියර් සෙලෙන්ස්කි එක්සත් ජනපදය කෙරෙහි දැඩි කලකිරීමක් පළ කර තිබෙනවා.
කිව්හි සිය මධ්‍යම කාර්යාලයේදී බීබීසී සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් යුක්‍රේන ජනාධිපතිවරයා, සාම සාකච්ඡා සඳහා එක්සත් ජනපදය රුසියාවට ප්‍රමාණවත් ලෙස බලපෑම් නොකරන බවට පැමිණිලි කළ අතර, ට්‍රම්ප් පුටින් වැළඳ ගන්නා ඡායාරූපයක් පළ කිරීම “අමුතු” යැයි පැවසුවා.
“ඇත්තෙන්ම එය එක්සත් ජනපද ජනාධිපතිවරයාට භාර කාරණයක්, නමුත්… මෙය අමුතුයි,” යැයි සෙලෙන්ස්කි ඉංග්‍රීසි භාෂාවෙන් අදහස් දක්වමින් සඳහන් කළා.
“ඔහු ආක්‍රමණිකයෙක්, ඒ වගේම ඝාතකයෙක්… ඔහුට මිතුරෙක් වෙන්න බැහැ. කොහෙත්ම බැහැ,” යැයි ඔහු පැවසුවා.
එය, දෙවන ලෝක යුද්ධ සමයේ ඇඩොල්ෆ් හිට්ලර් සමඟ තමන් මිතුරන්ව සිටියා යැයි පැවසීම හා සමාන දෙයක් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
2025 වසරේදී ඕවල් කාර්යාලයේදී ට්‍රම්ප් සමඟ සිදුවූ දැඩි හා අමිහිරි හමුවීමෙන් පසු, ඇමරිකාව සමඟ පවතින සබඳතා මෙහෙයවීමේදී සෙලෙන්ස්කි දැඩි සැලකිල්ලක් දක්වමින් කටයුතු කර තිබෙනවා.





