ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අවධානය
ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තිය සංශෝධනයට සහ ජාතික හා පළාත් පාසල් අතර ගුරු මාරුවීම් සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය.

ගුරු ස්ථාන මාරු ප්‍රතිපත්තිය සංශෝධනයට සහ ජාතික හා පළාත් පාසල් අතර ගුරු මාරුවීම් සඳහා නීතිපති උපදෙස් ලබා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අවධානය යොමුවී තිබෙනවා.
ඒ, එම කාරක සභාව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී.
විශේෂයෙන්ම, ගුරු ස්ථාන මාරුවීම්, පාසල්වල භෞතික සම්පත් සංවර්ධනය, පෙර පාසල් අධ්‍යාපනය, පාසල් දිවා ආහාර වැඩසටහන සහ විශ්වවිද්‍යාල සිසුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර එකම පාසලක වසර 10කට වැඩි කාලයක් සේවය කළ ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් සිදු කිරීමේදී පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව ද සාකච්ඡා කෙරුණා.
විශේෂයෙන්ම ගුරු මාරු මණ්ඩලය විසින් තීරණය කර ඇති කිලෝමීටර් 30ක දුර සීමාව, හම්බන්තොට, පොලොන්නරුව සහ අනුරාධපුර වැනි දිස්ත්‍රික්කවල දුරස්ථ පාසල් සම්බන්ධයෙන් ප්‍රායෝගික ගැටලු මතු කරන බැවින් එම සීමාව නැවත සමාලෝචනය කරන ලෙස මාරු මණ්ඩලයට දැනුම් දීමට කාරක සභාව විසින් තීරණය කළා.
එමෙන්ම, ඇතැම් ජාතික පාසල්වල වසර 10කට වැඩි කාලයක් සේවය කළ ගුරුවරුන්ට වෙනත් ජාතික පාසල් නොමැතිවීම හේතුවෙන් ස්ථාන මාරුවීම් ලබා ගැනීමේදී මතුවන ගැටලු සම්බන්ධයෙන් ද සාකච්ඡා කළා.
ඒ අනුව, ස්ථාන මාරුවීම් සඳහා පමණක් ජාතික පාසල් සහ පළාත් පාසල් අතර ගුරුවරුන් මාරු කිරීමේ හැකියාව පිළිබඳව නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට තීරණය කෙරුණු බව සඳහන්.
ගුරු සේවා කාලය සම්බන්ධ තොරතුරු ඇතැම් පාසල්වලින් නිවැරදිව ඉදිරිපත් නොකිරීම සහ ගුරු දත්ත පද්ධතියේ පවතින අඩුපාඩු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූණා.
ඒ අනුව, අදාළ තොරතුරු වසන් කරන බවට සැක කෙරෙන පාසල් වෙත භෞතිකව ගොස් පරීක්ෂා කිරීමටත්, ගුරු දත්ත පද්ධතියේ තොරතුරු යාවත්කාලීන කර සේවා කාලය නිවැරදිව ගණනය කිරීමටත් පියවර ගැනීම පිළිබඳව සාකච්ඡා වුණා.





