දල්වන්න මොහොතකට …. ඔබේ නෙත් පහන්සිළු…. මේනුකා දම්සරණී …….

ලියන්නට කවක් ඇත
වචන මගෙ හිතේ නැත
දල්වන්න මොහොතකට
ඔබේ නෙත් පහන්සිළු…..

පුංචි ම පුංචි තරුවකට පුලුවන් මහා කාන්තාරෙක තනිවුණ කෙනෙකුට මග කියන්න. ඒ තරුවට ම පුලුවන් මහා සාගරේක මංමුලාවුණු නැවියෙකුට ගොඩබිම පෙන්වන්න ප්‍රදීපාගාරයක් වගේ.

අරමුණක් නැතිව ජීවිතේ මග දිගේ ඇවිදගෙන ගිය මටත් ඔය දෑස ඒ තරුවක් තරම්…. ජීවිතේ මග දිග නෙක විසිතුරු දකින්න විඳින්න ඒ තරු එළිය මට සඳ එළියක් වුණා.

ඉතින් ඔය තරු ඇස් මත්තෙ ම මගේ ඇස් පටලන් ජීවිතේ තවත් දුර යන්න මං සිහින මවනවා. ඔබ මාව ජීවිතේ සතුටු නිම්නයට ජයග්‍රහණයේ ප්‍රේමණීය නිම්නයට රැගෙන යාවී කියන විශ්වාසයෙන්… ඒත් දාහක් ඇස් මුවාකරලා ඔබේ අත් අල්ලන් රිසි සේ මල්ගොමු මත විතරක් ම නෙවෙයි කටු අකුල් ගල්බොරළු උඩින් යන්නත් මම ආසයි.

විසුළ තරු ඇස් දසත
වසා හොර රහසේ
අනන්තෙට ඇවිද යමු
ලොව නිසල මොහොතේ

ඔව් අපි ඇවිද යමු. අනන්තයට. ඔබේ ප්‍රේමයේ අනන්තයට…. ඒ ගමන නිමාවක් නැති වේවී. මමත් කැමතියි. නැවතුමක් නැතිව ඔබේ පියසටහන්වලට සමාන්තරව එක ම මගක අපේ පියසටහන්වලින් අලුත් මාවතක මග ලකුණු තියන්න…..

ඔබට හිතෙන් නැද්ද…. හුස්මත් හිරකරන් ගහකොළ පවා අපේ පියසටහන් අහන් ඉන්න වග. දලු මල්වලින් මිදෙන්න ඉස්පාසුවක් නැතිව හිටපු නටු පවා මල්පෙති බදාගෙන ඔබෙ පියසටහන් අහන් ඉන්නවා. ගං දිය පවා පහළට ගලන්නෙ හොර රහසෙ කියලා හිතෙන තරමටම ඔබ වෙනුවෙන් මග බලන මේ රාත්‍රිය මට නිහඬයි.

සුසුම් සිරකර
මදනල ද නැවතී
නොසෙල්වී තුරුපත්
බලා ඉන්නේ
ගඟ නිසල වී
මා සසල වී…..

ඔව්. පරිසරය පවාමාර්ගඵල ලබලා වගේ. ඒත් ඒ නිවුණු සැනසීම මගේ හිතේ නැහැ. තත්පරයත් කල්පයක් තරමින් දැනෙනවා. අපේ අවසාන හමුවේ මං මගේ ප්‍රේමය ඔබේ ඇස්තටු යටින් හැංගුවා මතකයි, ඔබ දෑස් නොපියා මගේ ඇස් පතුලෙ කිමිදුණු වෙලාවක… මගේ ඒ පෙම් හීනවල ඔබ ගෑව පාට දකින්න මගේ ඇස් නොඉවසිල්ලෙන්. ඔය ඇස්වල ඒ පෙම් කතා කියවන්න ඉඩදෙන්න මට….

මේ වැහි බිංදු එක දෙක බිමට බේරන මන්දාරම් අහස තරු ලකුණු මකනවා. ඒත් ඒ මේඝ වලා අතරේ ඔය තරු එළියෙ කාන්තිය මං දකිනවා.

සුසුම් සර ළං ළංව
ඇසෙන එක ඇසිල්ලක
නෙතු වසා විඳිමි නුඹ
කල්පයක් තරමට ම

ඒ තමයි මේ රැයේ මගෙ සිහිනය. සුසුමක් පාසා නුඹ ව විඳින්න. නුඹේ ප්‍රේමයේ සුමුදු රළු තැන් පිරිමදින්න. සඳ වලාකුළක සැතපෙන මොහොතක……..

සතපවා සඳ මුහුණ
වලාකුළු උකුළ මත
තරු දෑස අවුළුවා
බලා ඉන්නම් සබඳ………

ඉදින් අපි හමුවෙමු ද…..
ලැවැලි තලාවක විසුළ කුසුම් මත…… ළා සඳ නැගෙනා හෝරාවේ

 


මේනුකා දම්සරණී
2018.10.25

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Pin It on Pinterest