අද හොඳ ම දවස ඔබ එනවා නම් ….

මේ පුංචි සීතල වැහි බිංදු පොළවට ළංවෙලා මොනවද මුමුණනවා. ඒ කෙඳිරිය මොනතරම් හුරතල් ඇතිද කියලා මට හිතෙන්නේ ඒ ළංවෙන පමාවෙන් තණපත් තුරුපත් මල්පෙති අගින් මහපොළව ඒ වැහි බිංදු ළඟට ඇදලා තුරුලු කරගන්න හැටි දැක්කම. ගල්බොරළු කටු අකුල් විතරක් නෙවෙයි. මහපොළවෙත් තියෙනවා වැහි බිංදුවකටත් දරාගන්න බැරි තරමේ සියුමැලිකම්. ඒකයි මල්පෙති කොපුල් තල උඩින් වැහි බිංදු රූරා යන්නේ.

එච්චර ගොරහැඬි මහපොළවත් ප්‍රේමණීය වෙලා සීතල වැහි බිංදුවල පහසට. ඒත් ඔබ තාම අමනාපෙන්. මටත් පුලුවන්නම් සීතල වැහි බිංදුවක් වෙලා ඔබේ කන්පෙති ළඟින් ඉඳන් මෙහෙම කියනවා.
“මහ වැස්සක් බිමට හෙළා නිදහස් වූ අහසක් සේ
ඔබ නිසොල්මනේ එපා හිඳින්න
ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න….”

මේ පුංචි පුංචි අමනාපකම් මට දැනෙන්නේ වැස්ස තුරල් වෙලා තුරුපත්වලින් බේරෙන කම්මැලි වැහි බිංදු වගේ. මීදුම තාමත් සීතලයි. ඒත් ඔබ ළඟ නැති මේ අමනාපකම හිතට හරි වදයක්…. මම දන්නවා. මේ හැමදේටම පස්සෙ ඔබ කලින් උන්නටත් වඩා ආදරෙන් ළංවේවි. එහෙම නේද? හරියට මහවැස්සකට පස්සේ අඳුර ඉරාගෙන පායන රෑ හඳ වගේ.
“මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි…’

මං ආසයි පෙඟුණ මහපොළවට වැහි බිංදු වැටෙන සද්දෙ අහන්න. ඒත් මේ මැඩියන්ගේ කරච්චලේ එක්ක මට හරි කේන්තියි. දූවිලි පොළව උඩ ඇති තරම් හුරතල් වෙලා ඒ පොළව ආදරේ උතුරන වෙඬරු පිඩක් තරම් පොඟවලා හිතුවක්කාර වැහි බිංදු ඒ පොළව උඩටම අහසෙ ඉඳන් පනිද්දි මහපොළව සැර කරකර තුරුල් කරගන්න හැටි….

ඔබ ගාව දැවටි දැවටි ඇති තරම් ඔය හිත උණු කරලා තවත් මං හුරතල් වෙද්දි ඔය හිතටත් එහෙම ම දැනෙනව ද?
“අහස තරම් දුරක ඉඳන්
මහවැස්සක් බිමට එවා
ඔබෙ සියොළඟ සිපගන්නට
අහසට හැකිනම්….”

අදත් හවස අමනාපෙන් රිදිලා කඳුළුවලින් පෙඟිලා බර වුණ හිතත් අරන් මහ වැස්සේ පාලු වීදිය දිගේ කුඩේ යට තනියෙන් ම එද්දි ඉන වටේ ඔබේ අතක උණුහුමක අඩුව ඔනෑවටත් වඩා දැනුණා. සීතල කම්මුල්වලට ළවෙලා උණු හුස්මක් මූණට පිඹින්න ඉස්සර වගේ ඔබ ළඟින් උන්නා නම් කියලා හිතුණා. කවුරුත් එනවද කියලා වටපිට බලලා හිම කැටයක් උඩ ඇතිල්ලෙන හිරු රැස් අහුරක් වගේ මගේ තොල්පෙති උඩ ඔය දෙතොල නැවතුණා නම් කියලා තාමත් හිතෙනවා.
“මන්දාරම් අඳුර මැඳින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ හිටියා නම්…..”

ඒත් අමනාපකම් තාමත් මග අවුරනවා…..

“මේ වහින්නේ එදා මල් වරුසාවමයි…”
පුංචි පොදවැස්සක රිය ඇතුළේ ඔබේ ළඟින් ඉඳන් ජීවිතේ ගැන හීන අමුණපු මොහොතක ඔබ දුන්න පළමු හාදුවේ සුවඳ තමයි මේ වැහි හුළංවල එතුණ නැවුම් සුවඳෙ මට තාමත් දැනෙන්නේ… ඒත් ඒ හාදුවෙ උණුහුම නිවෙන්න කලින් ඔබේ උණු සුසුමකින් පණ පොවන්න පුළුවන්නම්……
“එදා වාගේ අදත් පොද වැස්ස වහිනවා
මල් පිපුණු ගහ ගාව තව ම ඉඩ තියෙනවා
නුඹ මගේ ළඟින් නැති අඩුව මට දැනෙනවා
මං තව ම මට අහිමි මගෙ කවිය ලියනවා….”

මේ වැස්ස කියන්නේ වසන්තේ පණිවිඩය. කේඩෑරි වුණු ගස්වල මේ හීතල වැහි බිංදුවල පහසින් හෙට අරුණැල්ලේ අලුත් දලුමල් පිපේවී. ඉතින් ආදරය කියන්නේ උණුහුම ම නෙවෙයි. වෙලාවකට ප්‍රේමය හරි ම සීතලයි. ඔබ ළඟ නැතිව ඇවිළෙන හිත හරියට පෑවිල්ලට ඉරිතලපු වැව් පතුලක් වගේ.ඉතින් මේ වස්සානේ නිමාවට කලින් ඔබට පුලුවන්නම් අනන්ත අහසෙන් වැටෙන හාදු වැස්සක් වෙලා මේ හිතට ආයෙමත් ඇදහැළෙන්න ආදරේ ඉරිතැලුම් හාවෙලා හෙට සියපත් දහසක් පිපෙයි… ඔබේ මගේ ප්‍රේමයේ සුවඳ මේ වසන්ත සුළඟට එකතු කරන්න……

“මිණි මිණි පොද වැටේවී
මල් මිණි දැදිරි වේවි
ඔබ එනවා නම්
දේදුණු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්…..

ළා සඳ පලුව ඇවිත් නිල් දිය මුදුනින්
රන් තරු මාල බැඳන් රන්වන් අහසින්
අද හොඳ ම දවස
ඔබ එනවා නම්….

බිම් කලුවර ඇවිදින් පිරෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්
අද හොඳ ම දවස
ඔබ එනවා නම්…..”


මාධ්‍යවේදිනී
මේනුකා දම්සරණී
2018.10.17

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Pin It on Pinterest