බාධක මැද ජයගත් ආසියානු දැල්පන්දු ශූරතාව

බාධක මැද ජයගත් ආසියානු දැල්පන්දු ශූරතාව: “තර්ජිනීගේ ආරෝහ පරිණාහ දේහය ඇය වෙනුවෙන් නැගී සිටියා”

“ඇයට අමුතුවෙන් සිදු කරන්න දෙයක් තිබුණේ නැහැ. ඇයගේ ආරෝහ පරිණාහ දේහය ඇය වෙනුවෙන් නැගී සිටියා. ගෝල රැස් කළ අවස්ථාවලින් 93% ක්ම සාර්ථක වෙන්න හේතුව මෙයයි.”

2018 ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගත් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ තර්ජිනී ශිවලිංගම් ක්‍රීඩිකාව ගැන ජාත්‍යන්තර විස්තර විචාරකයන් අදහස් දැක්වූයේ එලෙසිනි.

තරගාවලිය පුරා තර්ජිනී දැක්වූ දක්ෂතාව දැඩි අවධානයට ලක් වී තිබුණි.

“සෙන්ටිමීටර 208ක් උසැති ශ්‍රී ලාංකේය ‘ෂූටර්’ ලෝක කුසලානය සහ හොංකොං අතර බාධකයක් ලෙස නැගී සිටියා,” යැයි අවසන් පූර්ව වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හොංකොං කණ්ඩායම පරාජයට පත්කිරීම ගැන සවුත් චයිනා මොර්නින්ග් පෝස්ට් (South China Morning Post)පුවත්පත වාර්තා කර තිබිණි.

Asian Netball Champions 2018තරගාවලිය පුරා තර්ජිනී ශිවලිංගම් දැක්වූ දක්ෂතාව දැඩි අවධානයට ලක් විය

තර්ජිනී ශිවලිංගම් ආසියාවේ උසම දැල් පන්දු ක්‍රීඩිකාව ලෙස සැලකේ. උසට අමතරව සාර්ථකව ගෝල විදීමට ඇති හැකියාව ඇයගේ සාර්ථකත්වයට හේතුවී තිබේ. මෙවර තරගාවලියේ දී ඇය ගෝල විදීමේදී 93%ක සාර්ථකත්වයක් පෙන්නුම්කර තිබිණි.

චතුරංගි ජයසූරියගේ නායකත්වයෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා සැලසුම් සහගතව ක්‍රීඩාකරනු දක්නට ලැබුණු අතර තර්ජිනී වෙත පන්දුව යොමුකිරීමට ඔවුන් දැක්වූ දක්ෂතා විචාරකයන්ගේ ද ඇගයීමට ලක්විය.

ආසියාවේ ප්‍රබලතම දැල්පන්දු කණ්ඩායමක් ලෙස හැඳින්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමට 2009න් පසු ආසියානු දැල්පන්දු ශූරතාව දිනාගැනීමට නොහැකි විය.

Asian Netball Champions 2018සිංගප්පුරු කණ්ඩායම ලකුණු 69-50ක් ලෙස පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය

කෙසේ නමුත් ඉරිදා (සැප්තැම්බර් 9) පැවැත්වූ අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නැවත වරක් එම ශූරතාව දිනාගත්තේ සිංගප්පුරු කණ්ඩායම ලකුණු 69-50ක් ලෙස පරාජයට පත්කරමිනි.

2012, 2014, 2016 වසර වලදී පැවති ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියන්හිදී ශ්‍රී ලංකාවට හිමිවුයේ අනුශූරතාවය.

විශේෂයෙන්ම 2012 වසරේ ශ්‍රී ලංකාවේ පැවති ආසියානු දැල්පන්දු ශූරතා තරගාවලියේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව සිංගප්පූරු කණ්ඩායමට පරාජය වූයේ එක් ලකුණකිනි.

එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් නායකත්වය දරුවෙ තර්ජිනී ශිවලිංගම් විසිනි.

කෙසේවෙතත්, ඉන්පසු කාලපරිච්ඡේදය තුළ දැල් පන්දු පරිපාලනයේ ගැටලු මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම තුළ විවිධ බෙදීම්ද දක්නට ලැබිණි.

Asian Netball Champions 20181983 වසරේ යාපනයේ දී උපත ලද තර්ජිනී ශිවලිංගම් මුල්වරට ශ්‍රී ලංකාව නියෝජනය කළේ 2004 වසරේදීය

දැල් පන්දු ක්‍රීඩා පරිපාලනය සමග හටගත් මතභේදයක් හේතුවෙන් තර්ජිනී ශිවලිංගම් ද 2014 වසරේදී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත්වී සිටි අතර මෑතකදී ඇය නැවත කණ්ඩායමට එක් වූවාය.

2017 වසරේ ඇයට වික්ටෝරියානු දැල්පන්දු ලීග් තරගාවලියේදී මෙල්බර්න් නුවර ‘වෙස්ට් ෆෝල්කන්ස්’කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ලැබුණ අතර, ඇය නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූයේ එහිදී ලැබු අත්දැකීම් සමගය.

1983 වසරේ යාපනයේ දී උපත ලද තර්ජිනී ශිවලිංගම් මුල්වරට ශ්‍රී ලංකාව නියෝජනය කළේ 2004 වසරේදීය.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක වන ඇය 2009 වසරේ දැල්පන්දු ආසියානු ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේද සාමාජිකාවකි.

“ශ්‍රී ලංකාවේ තිබුණු තරගාවලියේදී මගේ නායකත්වය යටතේ දිනා ගන්න බැරිවූ ශූරතාව, මේ අයගේ රටටම ඇවිල්ල ගන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා,” යැයි අවසන් තරගයෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ තර්ජිනී ශිවලිංගම් පැවසීය.

Asian Netball Champions 2018

තර්ජනී මෙන්ම කණ්ඩායම් නායිකා චතුරංගි ජයසූරිය ඇතුළු ක්‍රීඩිකාවෝ මෙම ජයග්‍රහණය ගැන අදහස් පළ කරන අතරතුර සිය පුහුණුකාරිය වන තිලකා ජිනදාස ගැන විශේෂයෙන් සඳහන් කළහ.

2009 ආසියානු ශූරතාව දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිය වූයේ ද තිලකා ජිනදාසය.

ඉන්පසු ශ්‍රී ලංකා දැල්පන්දු පරිපාලනයේ ඇතිවූ ගැටලු හේතුවෙන් විදේශගත වූ ඇය, බෘනායිහි දැල්පන්දු පුහුණුකාරිනිය ලෙස වසර හතක් සේවය කළාය.

ඇය බෘනායි දැල්පන්දු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරිය ලෙස කටයුතු කළ වසර හත තුළ එම කණ්ඩායමේ ශීඝ්‍ර වර්ධනයක් දැකිය හැකි විය.

2017 වසර අවසානයේ දී විරෝධතා මධ්‍යයේ ඇය නැවත ශ්‍රී ලංකා දැල්පන්දු පුහුණුකාරිය ලෙස සේවය ආරම්භ කළාය. ක්‍රීඩා අමාත්‍යංශයට ඇයගේ පත්වීම ගැන පැමිණිලි ද ලැබී තිබුණි.

කෙසේනමුත්, 2017 දෙසැම්බර් මස අවසානයේ දී එවකට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරගේ මැදිහත්වීමෙන් තිලකා ජාතික දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස ස්ථිර කරන ලදී.

Asian Netball Champions 2018ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිය තිලකා ජිනදාස

ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය එම අවස්ථාවේ ප්‍රකාශ කර සිටියේ තිලකා ජිනදාස ශ්‍රී ලංකාවේ පුහුණුකරු තනතුරට යළි පැමිණියේ බෘනායිහි ඇයට ලැබුණු විශාල වැටුප පවා කැපකිරීමෙන් බවය.

“සමහර අය හිතනවා, අව්වේ හිටියම, බොහෝ කණ්ඩායම් පුහුණු කළාම ඒ අය පුහුණුකරුවෝ කියලා. ඒක නෙවෙයි වෙන්න ඕනේ දැනුම යාවත්කාලින කරගන්න ඕන සහ හරියට තේරුම් ගන්න ඕන ක්‍රීඩිකාවන්ට අවශ්‍ය මොනවද කියලා. මම ස්තුතිවන්ත වෙනවා හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරට ඒ ගත්ත තීරණයට,” ජයග්‍රහණයෙන් පසු තිලකා ජිනදාස මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

තිලකා ජිනදාස ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස පත්වීමෙන් පසු එතෙක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත්ව සිටි තර්ජිනී සිවලිංගම් වැනි ක්‍රීඩිකාවෝ නැවත කණ්ඩායමට සම්බන්ධ වූහ.

මෙම ජයග්‍රහණයත් සමග 2019 වසරේ ජුලි මස එක්සත් රාජධානියේ පැවැත්වෙන ලෝක ශූරතා දැල් පන්දු තරගාවලියට සහභාගිවන කණ්ඩායම් 16ට ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීය.

ආසියානු දැල්පන්දු ශූරතා දිනාගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම අඟහරුවාදා (සැප්තැම්බර් 11) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Pin It on Pinterest