ඔබට ඇබ්බැහි වී සිටිමි… මේනුකා දම්සරණී

ඔබට ඇබ්බැහි වී සිටිමි… මේනුකා දම්සරණී

මා ,

පුනරුත්ථාපනය කළ නොහැක. මන්ද මම ඔබට අසීමිත ලෙස ඇබ්බැහි වී සිටිමි. ඒ, මම ප්‍රේම කරන හැටි ය. ඔබට මේ ප්‍රේමයෙන් ගැලවීමක් නැත. ඒ තරමට ම ප්‍රේම කරමි. ලෝකයට ඔබ කවුරුන් වුව ද, ඔබට ඔබ කවුරුන් වුව ද ඔබ මට මෙයයැයි කියා නිශ්චිත ව කිව නොහැකි ය. ඔබ මට සියල්ලම ය. එය මුළු විශ්වය ම වැනි හැඟීමකි. නන්දා මාලිනියන් ගැයුවා නිවැරදි ය. එපරිදි ම “මේ විශ්වයේ මා දකින්නේ ඔබ ම පමණයි….

ඔබ අනන්තයි…” එවැනි ප්‍රේමයකින් මිදී යන්නට ඔබට ද අවැසි නැති බව අදහමි. ඔබ එසේ නොයන බව මගේ පර ම විශ්වාසයයි. ලෝකය කුමක් කීව ද කුමක් කළ ද ඒ සියල්ල ස්ථර රැසකින් පෙරී ආ කල කිසිවක් නැත. ශුන්‍ය ය. අවසන ඔබත් මාත් අතර ඉතිරි අපේ ප්‍රේමය පමණි. ඒ ස්ථර කිහිපයක් නම්…

-මගේ ප්‍රේමය , ඔබේ ප්‍රේමය හා අපේ ප්‍රේමය -මගේ විශ්වාසය , ඔබේ විශ්වාසය හා අපේ විශ්වාසය -ඔබ මට කවුරුන් ද, මට ඔබ කවුරුන් ද , අප කවුරුන් ද හා ඔවුන් කවුරුන් ද -මගේ අධ්‍යාපනය , ඔබේ අධ්‍යාපනය හා ඔවුන්ගේ අධ්‍යාපනය -මගේ චරිතය , ඔබේ චරිතය හා ඔවුන්ගේ චරිතය -මගේ පින , ඔබේ පින හා ඔවුන්ගේ පව මේ සියල්ලෙන් පෙරී ආ කල ලෝකය කියන කරනා දෙය මගේ ප්‍රේමය ළඟ මට ගලිවර් අබියස ලිලිපුට්ටන් තරම්වත් නැත. ලෝකය හොඳ, පාඩම් උගනින්නට මිස උපදෙස් හෝ ආදර්ශ සපයාගැනීමට නොව. මන්ද ඇතැම්විට ලෝකයේ සිටින්නේ අපටත් වඩා මග වරදාගත් උන් හා වරදාගත් මග හදාගත් උන් ය. එබැවින් තෝරා බේරාගෙන පාඩම් උගෙනීම මිස, ලෝකය හා ලෝකයා මත යැපෙන්නට තරම් නූගත් නොවිය යුතුම ය. මා ඒ තරමට ජීවිතයට පරිණත ය.

එහෙත් ඔබේ ප්‍රේමය ළඟ ඔබ කියනා පරිදි ම ළදැරියක සේ බොළඳය. ඒ ප්‍රේමයේ අනන්තය ය. එහෙත් ඒ ප්‍රේමය දිනන්නට ලෝකය සමඟ නොව ඔබ හා වුව ද සටන් කරන්නට තරම් මා ප්‍රේමයට ද පරිණතය. ප්‍රේමය පරිත්‍යාගයක් ම ය. එහෙත් මා තරම් ඔබට ප්‍රේම කළ හැක්කේ මට පමණක් ම නිසා මම ඔබ අත්නොහරිමි. පතා ආ මුත් නෙකවර අතහරිද්දී යශෝධරා හදවතින් බිඳී සිදුහත්ව අතහැරියානම් නිවණින් නිවෙන ප්‍රේමයක් තුන් ලෝකයට ම අහිමි වන්නට තිබුණි. මම ද ඔබ පසුපස එසේ ඇවිද එමි. ඔබට සෙවණැලි මවමි මගේ ප්‍රේමයෙන්. සියල්ල අවසන ප්‍රේමය දිනන බව පමණක් ම අදහමි. එය මගේ ප්‍රේමය හෝ ඔබේ ප්‍රේමය හෝ නොව. ඒ, ප්‍රේමයයි. ලෙන් බිත මත සායම් පොඟවා සීගිරි ලෙන් හිස සියුමැලි කළේ අප්සරාවකි. ඉසුරුමුනියේ කලු ගලට ප්‍රේමයේ හැඩතල ඈ නොවන්නට ඔහුට තනිව ම මවන්නට නොහැකි වන්නට තිබුණි. මුම්ටාස් නොවන්නට ශාජහාන් කිරිගරුඬයෙන් මැවූ තජ් මහල ලෝකයට ප්‍රේමයේ සැමරුමක් නොවන්නට තිබුණි. ඉදින් නුඹේ හද දැඩි කලු ගලක් නම් මම එහි මගේ ම රුව නෙළමි. ඔබේ හද බිත කැටපත් පවුරක් කොට මගේ සුසුමින් ප්‍රේමයේ කුරුටු ගී ලියමි. ඔබේ හද මා නමින් තජ් මහලක් කරමි. මගේ ඇබ්බැහි වීම එතරම් ම නොසැලෙන සවියකි. ඔබේ ප්‍රේමය කලු ගලක් බඳු මා හද වෙඬරු කොට නෙළූ කල ප්‍රේමයේ ලියවැල… යළිත් දැඩි කොටගත නොහී ඔබේ සුසුමින් ඇඳෙන මැකෙන දහසක් හැඟුම් සිත්තම් දෙස බලා හුස්ම ගමි මම… ඔබත් මමත් ලෝකය පරදා අපේ ප්‍රේමය දිනවන හෙට දවස වෙනුවෙන්….

ඔබට සදා ආදරෙන්….

මේනුකා දම්සරණී 
2018.09.09

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Pin It on Pinterest