මගේ ප්‍රේම පාරමිතාව………

ප්‍රේමය පාරමිතාවක්. ඒ ප්‍රේම පාරමිතාව සඵල කරගත්තේ යශෝධරා. ඇය තමන් පෙම් කළ සිදුහත්ගේ සිහිනය සඵල කරන්න ආත්ම ගාණක් තිස්සේ අනන්ත සංසාරේ අසීමිත කැපකිරීම් කළා. ඒත් ඇය අවසන් ම භවය වනතෙක් සිදුහත්ව අතහැරියේ නෑ. ඇය මද්‍රී බිසව වෙලා තම ප්‍රාණ සම දරුවන් දන් දුන්නා. ඇයව ම පවා ජූජක බමුණාට දන් දුන්නා. ඒ, ඔහුගේ අරමුණ වෙනුවෙන් කළ අසමාන උත්තරීතර පරිත්‍යාගයක්. සංසාරේ පුරා ම රජ මැදුරෙත් මහා ගිරි දුර්ගවලත් ඇයට නවාතැන වුණේ ඔහුගෙ සෙවණැලි ඇඳුණු බිම. ඒ කිසි ම භවයක ඇය ඔහුව අතහැරියේ නෑ. ඇත්තෙන් ම ඇගේ ප්‍රේමය පාරමිතාවක් වෙන්නේ ඇය ඔහුත් ඔහු කෙරේ සිය ප්‍රේමයත් හැර අන් සියල්ල ම ඇයව ම පවා ඔහුගේ ම පාරමිතා පූරණය වෙනුවෙන් අත්හළ නිසයි. කැප කළ නිසයි… මමත් ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේ ප්‍රේමයක්… ඔබ සිදුහත් නොවුණත් මම යශෝධරා නොවුණත් අපේ ප්‍රේමය මට පාරමිතාවක්. මලක වටිනාකම වැඩියෙන් ම දැනෙන්නේ කවදාවත් ම මල් නොපිපුණු ගහකට ද? නැත්නම් පිපුණු එක ම මලත් පරවී වැටුණ මලක් වෙනුවෙන් මග බලන ගහකට ද? ඒක සසඳන්න බැරි අගයක්… මට ඔබ ගැනත් මෙතෙකැයි කියන්න බැරි වටිනාකමක් දැනෙනවා. මට මගේ වටිනාකම් දැනෙව්වේ ඔබ. ඔබේ ප්‍රේමය. ඔබේ ප්‍රේමය තුළ ඔබ මට මං ම වෙන්න ඉඩ දුන්නා. ඔබේ සෙවණැල්ල යට මගේ ලෝකය තැනුනත් ඔබ මගේ සෙවණැලිවල පාට නොමැකෙන්න මාව ආවරණය කළා… ඒ වර්ණයෙන් ඔබේ ජීවිතයට පාට පොවන්න මම සිහිනයක් දකිනවා. ප්‍රේමයේ ගැඹුරු තැන් නොතේරෙන තරමට මම බොළඳ නොවෙමි. ඒත් ඔබේ අපූර්ව ප්‍රේමය උණුසුම් රැකවරණය මැද මම ප්‍රේමයට අලුතින් උපන් බිළිඳියක්.. ඔබෙන් ප්‍රේමය විඳින්න ඔබෙන් ප්‍රේමය උගනින්න ළදැරියක් වගේ ඔබේ අතක පැටලීගෙන ජීවිතේ සරල තැන් සංකීර්ණ තැන් ප්‍රේමයේ ඔරුවෙන් පසුකර යන්න මම සිහිනයක් මවනවා. රැළි නගන මුහුද නොගැඹුරුයි. ඒත් සුන්දරයි. අද මගේ ප්‍රේමයත් ඔබට එහෙම දැනේවි. මම ඔබේ ප්‍රේමය දිනාවි, බොහෝ පීඩන සසලවීම් දරාගෙන නොසැලෙන ගැඹුරු මුහුද වගේ ඔබට පෙම් කරන දවසක… ඒ දවස අද… ඔබේ සෙනෙහස මගේ ජීවිතය මට ම විඳින්න ඉඩ හළ මොහොත. හිමිවීම් අහිමි වීම් මැද ඔබට මාත් මට ඔබත් හැර අනෙක් සියල් ගිළිහීම් මම හසරැල්ලකින් ඉවසමි. සටන් නොවැද දිනිය හැකි බොහෝ දේ අතැර මම සටන් කරමි, ඔබ වෙනුවෙන් ම පමණක්… සිනහව ම ඔබට දී ඔබේ නෙතු නොවෙහෙසවා ඔබ වෙනුවෙන් හඬන්නට ඇති තර කඳුළු මගේ ඇස්වල ඇත. එවිට ඒ කඳුළත මට,මගේ ප්‍රේමයට මම වත්කමක් කරගමි. මහපොළව මත වැතිර, ඔබේ ළය මත හිස තබා ඈත අහසේ තාරුකා අමුණා අපේ ප්‍රේමය ගෙත්තම් කරන අහිංසක සිහිනයක් මට ඇත. සියල්ල අවසන ඔබේ පාමුල දෙතොල් සතපා දිවියේ විඩාබර විරාමයන් නිමවන නිවනක් මම පතමි.. ලොවෙන් විඩාබරවන ඇසිල්ලක වුව ඔබේ පාමුල නිවෙන්නට සැනසෙන්නට මම ඉඩක් යදිමි. ඔබ ළඟ ගොලු වී ඔබ දුරස් වූ කළ දොඩමලුව වෙහෙසෙන හදවතට ඔබේ ළඟ නිදහසේ රැඳෙන්නට දකින්නට අහන්නට විඳින්නට බොහෝ පෙම්වත්කම් ඇතැයි මම අදහමි. ඒ පෙම්වත්කම් මැද උවැසියක මෙහෙණක නොවී ප්‍රේමය විඳින්නට මම පින් පුරමි. ජීවිතේ ඇවිද යන්නට පෙරුම් පිරූ මුදු පෙර නොගිය මගක ඔබ හා යන්නට මම මග බලා හිඳිමි. ඒ මග දෙපස වසත් ගිමන් ඍතු පාසා වසන්තයේ සුවඳ ම පහස ම අත්විඳිමින් ගල්බොරළු කටු තුඩු වසා ප්‍රේමයේ මල් පලස් අතුරා ඇවිද යන්නට මම නුඹට මා දෑත පවරමි….

 

මාධ්‍යවේදිනී

මේනුකා දම්සරණී

2018.06.09

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Pin It on Pinterest