ඈ… ඇවිළීමයි… ඈ නිවීමයි… ඈ පතිනියයි

ඈ… ඇවිළීමයි… ඈ නිවීමයි… ඈ පතිනියයි

තරුත් නිදන මහ රෑක ඇස් දල්වගෙන මග බලන ආදරණීය බිරිඳක් ගැන සිත්තමක් හීනයක් හැම ගෑනු හිතක ම ඇති. ජීවිතේ මහා බර කන්ද ඉහේ තියන් තවත් ජීවිත දෙක තුනක් වෙනුවෙන් දවල් රෑ නැතුව ජීවිතේ එක්ක ඔට්ටු වෙන්න තරම් කැපවීමක් පිරිමියෙක්ටත් කරන්න පුළුවන්. එහෙම පිරිමියෙක්, ඒ බර කන්දෙන් රැයකට හරි නිදහස් වෙන්නේ, දවසක වෙහෙස නිවන්නේ ගේ දොරකඩ වාඩිවෙලා අන්ධකාරෙ මැද සෙවනැලි උඩ සිය දහස් වතාවක් ඒ පිරිමියාගේ හැඩරුව අඳින ගැහැනියක් ළඟ.

ඒ ඇස්වල ඇත්තටම මායාවක් නොවන මායාවක් තියෙනවා. ඒ තමයි ප්‍රේමය. සෙනෙහස. ඒ ප්‍රේමයට පුළුවන් මහ පොළව උඩ ඇදවැටෙන්න ඔන්න මෙන්න ඉන්න පිරිමියෙක්ව අහසේ පිහාටුවක් උඩ පා කරන්න. ඒත් හැම ගැහැනු හිතකටම ඒ මායාව කරන්න බෑ. ඒකයි ගොඩක් පිරිමි හිත් මහපොළව උඩ ඇද වැටෙන්නෙ. බිඳිලා යන්නේ. ඒ ප්‍රේමය ම ඇති,ගැහැනියකට ගැහැනියක් වෙන්න.

ගැහැනියකට ලබන්න පුළුවන් උත්තරීතර ම පදවිය මව් පදවිය. ඒත් බිරිඳක් වීම ඊට දෙවනි වෙන්නෙ නෑ. අංශු මාත්‍රයකින්වත්. ඒකයි මහමායා දේවියට වඩා යශෝධරා ගැන අපට ආදරය හිතෙන්නේ. මද්‍රී බිසව දරුවන් දන් දුන් දුකට වැළපෙන්නේ මාතෘත්වය නිසා. ඒත් ඇසිල්ලෙන් ඇය ආයෙමත් වෙස්සන්තරගෙ පතිනිය වෙනවා. ඔහු වෙනුවෙන් ජූජක බමුණා සමඟ පිටව යන්නේ සැමියාගේ සිහිනය දාන පාරමිතාව පූරණය කරන්න.

ගැහැනු හිතකට ගැහැනු ගතකට පිරිමියෙකුගේ උණුසුම රැකවරණය අවැසියි. ඒක ලෝක නියමයක් විදියට අපි විශ්වාස කරනවා. ඒත් අවසානයේ පිරිමියාත් ගැහැනියකගේ රැකවරණය පතනවා. තමන් විසින් රැකගන්න පොරොන්දුවට ජීවිතයට එකතු කරගන්න ගැහැනියගෙන් මවකගෙ ආදරය රැකවරණය පතනවා. හැම පිරිමියෙක්ම. ගැහැනියක් පළමු වතාවට මවක් වෙන්නේ තමන්ගෙ සැමියට.

දරු සෙනෙහස ඉතිරුවත් සැමියාට තියන තැන හදවතේ තාමත් එහෙමයි. අපේ අම්මා, අපි තාත්තා ගැන වරදක් කියනවට අදටත් විරුද්ධයි. ඒ බැඳීම ම කවියක්. උල්පතක්. ආදරයෙ උල්පත් දහස් ගාණක එකතුවක් වගේ.

ජීවිතේ හරි ම වෙහෙසකරයි. ඒ වෙහෙස ගහැනියකට දරුවෙකුට නොදෙන්න පිරිමියෙක් දස ගුණයකින් වෙහෙසෙනවා. එහෙම සැමියෙකුට බිරිඳගේ උකුළෙන් හිස තියාගන පුංචි දරුවෙක් වගේ හිස පුරා දුවන ඇගේ ඇඟිලි තුඩු අතරේ ඇවිළුණු ජීවිතයක් නිවාගන්න ලැබෙනවා නම් ඒ තමයි ජීවිතේක සුන්දර ම තැන.

බිරිඳක් වෙන එක හැම යුවතියකගෙ ම හීනයක්. ඒ හීනයට වටිනාකමක් දෙන්න පිරිමියෙකුට පුළුවන් නම් ප්‍රේමය මේ මහ පොළව උඩ මේ තරමටම දුර්ලබ වෙන එකක් නෑ.

මටත් හීනයක් තියෙනවා. අන්දකාරෙට ඇස් දල්වගෙන අපේ මතක සිත්තම් කර කර ඔබ එනතුරු දොරකඩින් වාඩිවෙලා හදවති ම මග බලන්න. හසරැලි දියෙන් පා දොවලා ප්‍රේමයේ පලස උඩින් ඔබව හදවත් සිහසුනට කැන්දන්න. තරු එළියක්වත් නොවැටෙන්න ඔබේ මුහුණ උඩින් එබීගෙන ඒ ප්‍රේමයේ සිහිල් සෙවනැල්ලෙන් ඔබේ සරතැස නිවන්න. ඔබේ ඇවිළීමත් නිවීමත් මම ම වෙන්න…

මේනුකා දම්සරණී
2018.05.29

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Pin It on Pinterest