ස්ත‍්‍රී – මේනුකා දම්සරණී

 

දසත යුද බිම් පුරා වැජඹුණු
සියළු ශිල්පය දිග් විජය කළ
පුතුන් රජසිටු සියක් දහසට
ශිල්ප දුන් මා දිසාපාමොක්
ගුරු ගෙදර දස අතම දිව යන
නුරා බැලූමින් මුවාකර නුඹ
මව්ගේ හෙවණේ ඇගේ ශිල්පය
නුඹට වනපොත් කළ පියා මං
සකල දුනුු කඩු ශිල්ප පහදා
උගත් මනමේ කුමරු කැන්දා
මලක් උන් අත තබන රිසියෙන්
දුනිමි නුඹෙ අත උන්ට පවරා
ගෙවා හිමගිර බලා බරණැස
නුඹව උන් හා පිටත් කරවා
බලා උන්නේ නොනිවි දැසින්
දියණි ගැන පෙම ලොවෙන් සඟවා
ගෙවා හිමගිර පුතුන් අතගෙන
දෙදෙන කවදා ඒ ද සිතලා
මෑණියන් හා බලා උනි මග
දුනු කඩු ද මා අතින් නොහැරා
මෘග වැදි රජු තෙදස සිඳ දා
දිනූ මා සිසු මනමේ කුමරා
අනේ නුඹ ළද බොළඳ ගති පා
නසාලූ ඒ පුවත අසලා,
මලක් සේ නුඹ සැදුපාපෙට
හිතින් මං දහදෝස විඳලා
ඉතින් බරණැස කුමරියන්ටත්
තක්සලාවේ දොරටු හැරියා
වියන සළුපිළි උයන මසවුළු
සේම උන් අත තබා දුනු හී
සිල්ප දෙමි මං නසාලන්නට
මෘග ගති ඇති හිමේ වැද්දන්
ජීවිතේ හිමගිර නගින්නට
වීර රණශූරියන් විලසා
රජ සිටුන්ටත් සවිය දෙන්නට
දුවේ මම පරපුරක් හැදුවා
එදා මනමේ කුමරු දුගෙන්
කඩුව ඉල්ලා උන්නු මොහොතේ
ළතෙත් ගති සිඳ නපුර නැසුමට
අනේ නුඹ හිත සවි වුණා නම්
රුවින් අගතැන් දුවක වෙනුවට
නපුරු හිමගිර දිනන්නට හැකි
හදින් එඩිතර ගතින් සවි ඇති
පුතෙකු ලෙස නුඹ දැඩි කළා නමි
ලොවක නෙක තුටු පඬුරු ලබනා
දිසාපාමොක්  ගුරු වුණත් මං
කාටවත් නොපෙනුණු කතාවක
තවත් අසමත් පියතුමෙකි මං
මේනුකා දම්සරණි
2018.05.05

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Pin It on Pinterest