යශෝධරා… ඒ තමයි ප්‍රේමය.

ප්‍රේමයට සම පදයක් තරමයි යශෝධරා. ප්‍රේමය අන් කිසිත් නොව පරිත්‍යාගයක් ම බව පසක් කළ ස්ත්‍රි රත්නයක්.

තවකෙකුට ආත්ම පරිත්‍යාගයෙන් ප්‍රේම කළ හැකිනම් ඒ මවක්. දරුවෙකුට දක්වන ස්නේහය. නමුත් දාරක ස්නේහයත් අතහැර පුරුෂයෙකුට පෙම් කළ හැකි ළඳක් වී නම්, ඒ යශෝධරා.

සිතුහත් කුමරු අනන්ත සංසාරේ බුදු බව පතා පාරමී දම් පිරුවා. දීපංකර බුදුන් පාමුල ඔහු මතු බුදු බව පතා බුදු සිරිපා සිඹිද්දී ඈ නේක දුක් කම්කටොලු විඳිමින් ඔහුට පාදපරිචාරිකාවන් වන්නට විවරණ පැතූ ළඳක්.

වරක් දෙවරක් නොව අනන්ත සසරේ හමුවන හැමවරකම වෙන් වෙන බව අහිමිවන බව දැන දැන අසීමිතව ඔහුට ප්‍රේම කරන්නට ම උපන් ළඳක්.

ඔහු වෙනුවෙන් ඔහුගේ සිහිනය වෙනුවෙන් දෙවරක් හෝ නොසිතා තමන්ව ම පූජා කරන්නට තරම් ඇය උත්තරීතර ප්‍රේමයට අරුත් දුන් පතිනියක්…

ප්‍රේමය අයිතිය ම ලෙස දකින ලෝකය ම ඇගේ ප්‍රේමය පාමුල කුහුඹුවන්ටත් නොතරම්. අතහැරීම තුළ ඈ අත්විඳි කඳුළත් ඔහුට ප්‍රේමයේ සෙත් කවියක්. ප්‍රේමාශීර්වාදයක්.

අනන්ත සසරේ බැඳුණු අත්වැල් ලිහෙද්දී ඈ නොසැළී ඉන්න ඇති. ඒත් අවසන් ම භවයේ යළි හමුවීමක් නොමැති බව දැන දැන ඔහු අත මුදාලන්නට ඈ කෙලෙස නම් සිත දැඩිකර ගන්නට ඇත් ද? එය කවියෙකුට පබඳින්න බැරි ගයන්නට වටහාගන්නට බැරි අනන්ත හැඟීමක් වන්නට ඇති.

සිදුහත් නැවතීම සොයා යන්නටත් පළමු යශෝධරාවන් නැවතීම පසක් කළ සේ ඔහුගේ අවසන් සිපගැනීමත් නොහැඟුණා නොදැනුණා සේ කෙසේ නම් වාවාගෙන හිඳින්නට ඇත් ද? මිහිමත පහළවූ ආදරණීය ම හා උත්තරීතරම පිරිමියාගේ හිමිකම තමා සන්තක වෙද්දී ඒ සසර අවසන් පහසින් අවදි නොවී හැඟුම් නිදිගන්වා ඈ කෙලෙස බවුන් වඩන්නට ඇතිද?

සසරට බැඳෙතැයි පුතු දෝතට හෝ නොගත් සිදුහත්… සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක සංසාර ගමනේ එක්ව ආ ඔහුගේ අවසන්ම චුම්බනයත් නොහැඟුණා සේ හිඳින්නට තරම් ඈ සිත කෙතරම් නිවීමක් තිබෙන්නට ඇත්ද?

එය ම නිවනක් නොවුණේ ද… සිදුහත්ට…

බුදු බව ලැබ ඈ කුටියට වැඩම කළ බුදු හිමි සිරි පා ඈ ප්‍රේමයේ පිවිතුරු කඳුළින් දොවාලූයේ සසරක ම ඔහු සමග පාරමී දම් පිරූ මග සරතැස නිවන්නට නොවේද? අනන්ත කැපකිරීම් අවසන උදා වූ සැබෑ වූ ඇගේම ස්වප්නයේ තුටු කඳුළ නොවේ ද?

පිරිණිවනට පළමු අනන්ත සසරේ ආ ගිය මග ලකුණු සිහිකර පෙලහර පා සක්වල ම කළඹා දෙව් බඹුන් මල් වරුසා මැද අහස් වියනේම පිරිණිවි ඈ නිසල ගත මලක් සේ පාව විත් බුදු හිමි දෝතේ මලක් සේ රැඳෙද්දී බුදු සිතත් සැළෙන්නට ඇත…

ඉදින් ඒ උත්තරීතර ප්‍රේමයේ නිමාවක් නොව නිමාවක් නැති ප්‍රේමයක්මැයි ඈ… යශෝධරා…

“දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ
මා සිටියා නම්….”

එන්නට තිබුණා නියත විවරණ පතන්නට…
මතු බුදුවන්නට නොව, මතු බුදුවන හදකට යශෝධරාවක් වන්නට…

විඳින්නට ඈ විඳි අනන්ත ප්‍රේමයේ නිවීම….

 

මේනුකා දම්සරණී
2018.05.08

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Pin It on Pinterest