පොඩි මල්ලි අතේ අනේ අම්මේ කුරුලු පිහාටුවක් එවන්න – මේනුකා දම්සරණී

තාත්තා වුණත් මා බත සරි කරන

අම්මා නුඹයි මගෙ දූ දරුවන් රකින
ආචාර්යය පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව ශූරින් ගැයූ මේ ගීතය මම ගොඩක් ප්‍රිය කරන ගීතයක්. ඒ ගීතයේ හැම අකුරක ම මං මගේ අම්මාව මගේ තාත්තගෙ ආදරණීය බිරිඳ ව දකිනවා. අම්මාවරුන්ගේ දිනය දවසෙ අම්මාවරු ගැන බොහෝ සටහන් අතරේ මට මේ ගීතයත් එක්ක අම්මා ගැන ලියන්න හිතුණා.

මට පෙර උරුම ආලය දරු කැලට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුලු වෙමින්

පුංචි කාලෙ ඉඳන් ම අපි දැක්කා අම්මාගෙයි තාත්තගෙයි ආදරේ අලුත් වෙන හැටි. තාත්තා නිතරම අපිට කිව්වේ මට නැතත් කවදහරි දවසක අම්මට සලකන්න අම්මව හොඳට බලාගන්න කියලා. අම්මා කෙනෙක් දරුවෙක් උස්මහත් කරන්න විඳින් දුක දන්නේ අම්මා කෙනෙක්ම තමයි. තාත්තාත් ඒ මෙහෙවරේ කොටස්කරුවෙක්. තාත්තා කෙනෙකුට තමන්ගෙ දරුවන්ගෙ වගකීම සම්පූර්ණයෙන් ම බිරිඳට පවරලා ජීවිත බර උහුලන්න ලෝකෙ එක්ක සටන් කරන්න පුළුවන් අම්මා කෙනෙකුගේ ශක්තිය නිසා.

තාත්තා රෑ වැඩ ඇරිලා එනකම් අම්මා එක්ක ඇහැරිලා ඉන්නේ මම.රෑ එකොළහ පහුවෙනකොට මිදුලෙ ගහක කොළයක් වැටුණත් අම්මා කලබල වෙනවා. අන්න තාත්තා ආවා කියලා. ඒ ආවම අත හෝදන වතුර භාජනය පවා තාත්තා ළඟින් හිටගෙන අල්ලන් ඉන්නවා. ඒක ඇත්තට ම අපූරු ප්‍රේමයක්.මාත් අක්කත් හීන මැව්වේ එහෙම බිරිඳක් වෙන්න. අපේ අම්මා වගේ. හැම අම්මා කෙනෙක් තුළ ම ඒ වගේ ලෝබ හිතෙන ප්‍රේමයක් තියෙනවා. ඒ ප්‍රේමය ළඟ, ලෝකය එක්ක සටන් කරන අපි වීරයෝ කියලා හිතන අපේ තාත්තලත් නොදරුවෝ වගේ.

බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ
අතදරු පුතුගෙ මුවකමලේ ඇත නිබඳ
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිඳ ලෙස
නොහැඟෙයි ළඟින් හිඳ මගෙ හිස සිඹින සඳ

” මං හිතන්නේ ගැහැනියකට ලබන්න පුලුවන් උත්තරීතරම තැන තමයි මේ ගීතයෙන් අරුත් ගන්වන්නේ. දරුවන්ට මවක් වෙන්න හැම ගැහැනියකට ම පුළුවන්.ඒත් රළු පිරිමියෙකුට බිරිඳකට එහා ගිය මවක් වෙන්න හැම ගැහැනියකටම බෑ. එහෙම පුලුවන් යෝධ මව්වරු අල්පයි. ”
මගේ අම්මා ඒ අතරින් කෙනෙක්…
විවිධ හැලහැප්පීම් අතරේ අනන්ත ආර්ථික දුෂ්කරතා මැද අපිට උගන්නලා තාත්තගෙ ජීවිතේ දරුණු කඩාවැටීම් බිඳවැටීම් අතරේ අපි හැමෝවම ඒ දුෂ්කර කාලයෙන් මේ සුන්දර නවාතැනට අරන් ආවෙ අම්මා. ඇය ඇත්තට ම අපිටත් තාත්තාටත් කන්න දී හිස් බඩ හිනා වුණ වීර දිරිය මවක්.තාත්තාත් අදටත් ඇයට ණයයි.

අම්මා කෙනෙකුගෙ හිතේ දරුවෝ ගැන තියන හීන අනන්තයි අප්‍රමාණයි. අම්මා අපිව හදන්නේ මල්පෙත්තක් තරම් සියුමැලිව.හාදුවකින්වත් නොරිදෙන තරමට. ඒත් ඇය මටත් අක්කාටත් නිහඬව ම බොහෝ දේ කියා දුන්නා. මල් පෙති තරම් සියුමැලිව අපිව හැදුවත් මහා කලුගල් වලට එරෙහිව මහපොළව මුල්වලින් වැළඳගෙන අහසටත් පොළවටත් සුවඳත් ඵලවැලත් බෙදන්න ඇය අයියාටත් මල්ලීටත් මටත් අක්කාටත් කියා දුන්නා.ඇගේ චරිතෙන් අපි බොහෝ දේ අදටත් ඉගෙන ගන්නවා.

ඒ ආදරේ ඒ උණුහුම එක්ක හැම රෑක ම අම්මා හිතින් මග බලනවා. අපි එනකම්. අපි නොඑන බව දන්නවා වුණත්. ඒත් හිත ඇතුළෙ ඒ කරුණා බුදු රුව මවාගෙන අපි හෙටත් හුස්ම ගන්නවා.

ඔබට හීන ගොඩක් ඇති. ඒත් දවසක වැටහෙයි ඒ හැම හීනයක් ම තියෙන්නේ අම්මාගේ හීන ඇතුළෙ කියලා. ඔබට ඕන දේ ඔබේ හීනෙ ඔබවත් දන්නෙ නෑ. ඔබේ අම්මා තරම්. ඒ තමයි අම්මලාගෙ ආදරේ.
මම අදත් හීන මවනවා.
මගේ අම්මා වගේ අම්මා කෙනෙක් වෙන්න. දරුවන්ට විතරක් නෙවෙයි.
ජීවිතේ හසරැල්ල කඳුළැල්ල බෙදාගන්න ඒ අනන්ත පිරිමි හිතටත්.

මේනුකා දම්සරණි
2018.05.05

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Pin It on Pinterest