ප්ලාස්ටික් ප්‍රශ්නයට විසඳුමක්; ප්ලාස්ටික් දිරවන ‘එන්සයිමයක්’

ස්වභාව ධර්මයේ පැවැත්මට බරපතල හානියක්ව ඇති ප්ලාස්ටික් ආහාරයට ගනු ලබන බැක්ටීරියාවක අන්තර්ගත ‘එන්සයිමයක්’ තව දුරටත් වර්ධනය කරමින් ප්ලාස්ටික් දිරාපත් කරවීමේ ක්‍රියාවලිය සඳහා යොදා ගැනීමට විද්‍යාඥයෝ කටයුතු කරමින් සිටිති.

බෝතල් සෑදීම සදහා බොහෝ විට යොදා ගනු ලබන්නේ ‘PET’ ලෙස හැඳින්වෙන ඝන ප්ලාස්ටික් වර්ගයක් වන අතර, එය දිරාපත් වීමට වසර සිය ගණනක් ගත වේ.

විද්‍යාඥයන් විසින් තව දුරටත් වර්ධනය කරමින් සිටින ඉහත කී එන්සයිමය ‘PETase’ යනුවෙන් නම්කර ඇති අතර, එය ක්‍රියාත්මක වී දින කීපයක් ඇතුළත ප්ලාස්ටික් දිරාපත් වීම ආරම්භ වනු ඇත.

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙම එන්සයිමය උපකාරී වන අතර, එමගින් ඒවා නැවත භාවිතා කිරීම වඩාත් එලදායී ලෙස සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇත.

කුණු ගොඩක සැඟවී තිබුණ ‘එන්සයිමය’

PET වර්ගයේ ප්ලාස්ටික් දිරාපත්වීම සදහා උපකාරී වන මෙම එන්සයිමය සෑදෙන්නේ ප්ලාස්ටික් “ආහාරයට ගන්නා” බැක්ටීරියාවකින් වන අතර, එය පළමු වරට හඳුනා ගනු ලැබ තිබෙන්නේ ජපානයෙහිය.

‘Ideonella sakaiensis’ ජපන් ආයතනය තම ප්‍රධාන බලශක්තිය ලෙස ප්ලාස්ටික් භාවිතා කරයි.

ඔවුන්ට අයත් ස්ථානයක, ප්‍රතිචක්‍රීකරණය සදහා ගොඩ ගසා තිබූ ප්ලාස්ටික් බෝතල්වල තැවරුණ රොන් මඩවල තිබී ‘PETase’ එන්සයිමය අන්තර්ගත බැක්ටීරියාව සොයාගත් බව 2016 වසරේ නිකුත් කළ පරීක්ෂණ වාර්තාවක දැක්වෙයි.

විද්‍යාව
බෝතල් සෑදීම සදහා බොහෝ විට යොදා ගනු ලබන්නේ PET ලෙස හැඳින්වෙන ඝන ප්ලාස්ටික් වර්ගයකි

පසුගිය අවුරුදු පනහ තුළ “PET ප්ලාස්ටික් භාවිතය විශාල වශයෙන් වැඩි විය. මිනිසුන් විසින් නිෂ්පාදනය කළ ද්‍රව්‍යයක් ආහාරයට ගන්නා බැක්ටීරියාවක් වර්ධනය වීමට මෙම කාලය කොහෙත්ම ප්‍රමාණවත් නැහැ” වර්තමාන පරීක්ෂණවලට සම්බන්ධ මහාචාර්ය ජෝන් මැක්ගීහන් පවසයි.

PET අයත් වන ප්ලාස්ටික් කුලය පොලියෙස්ටර්, නැතහොත් ‘පොලිතිලීන් ටෙරෙෆ්තාලේට්’ ලෙස හඳුන්වන අතර, එයත් ස්වභාවික පරිසරයේ නිපදවෙන ද්‍රව්‍යයකි.

‘පොලියෙස්ටර්’ මගින් ගස්වල කොළ ආරක්ෂා කෙරෙනවා. අවුරුදු දශ ලක්ෂ ගණනක් එම බැක්ටීරියාව වර්ධනය වෙමින් පවතින්නේ ඒවා ආහාරයට ගන්න” යැයි පෝට්ස්මත් විශ්වවිද්‍යාලයට සම්බන්ධ පර්යේෂකයෙක් පැවසීය.

නමුත් PETase එන්සයිමය PET ප්ලාස්ටික් ආහාරයට ගැනීම ආරම්භ කර ඇත්තේ “නොසිතූ වෙලාවක” වන අතර, එම ආහාර ජීර්ණය වීමට හේතුවන එන්සයිමයේ පරිණාමය පිළිබද තව දුරටත් පරීක්ෂණ පැවැත්වීමට ජාත්‍යන්තර විද්‍යාඥයන් පිරිසක් සූදානමින් සිටිති.

ප්ලාස්ටික් ආහාරයට ගැනීම

ඉතා බලගතු ‘එක්ස් රේ’ කිරණ යොදා ගෙන එන්සයිමයේ ත්‍රිමාණ රූපයක් නිර්මාණය කිරීමට පරීක්ෂකයන් කණ්ඩායම සමත් විය.

විද්‍යාව
එන්සයිමයේ පිහිටීම හඳුනාගැනීමට මෙම ත්‍රිමාණ රූපය උපකාර විය

PETase එන්සයිමයේ පිහිටීම හඳුනාගැනීමට මෙම ත්‍රිමාණ රූපය උපකාර වෙයි. එහි පිටත පිහිටි සමහර කොටස් නැවත සකස් කිරීම තුළින් එන්සයිමයේ ක්‍රියාකාරීත්වය වැඩි කළ හැකි බව විද්‍යාඥයන් විසින් නිරීක්ෂණය කරනු ලැබ ඇත.

බීබීසී විද්‍යා අංශයේ සංස්කාරක ඩේවිඩ් ෂුක්මන්ගේ විශ්ලේෂණය

“පෝට්ස්මත් විශ්ව විද්‍යාලයට සම්බන්ධ එම පරීක්ෂණ කණ්ඩායමට ආචාර්ය උපාධිය සඳහා හදාරන සිසුන් මෙන්ම සාමාන්‍ය උපාධි අපේක්ෂකයන්ද ඇතුළත් වෙයි. අදාළ පරීක්ෂණ පිළිබඳව කණ්ඩායම තුළ තිබූ අති මහත් උනන්දුව ඔවුන් හමු වීමට විද්‍යාගාරයට ගිය අවස්ථාවේ මම දුටුවෙමි”

ඩේවිඩ් ෂුක්මන් පහත දැක්වෙන සටහනද ලියා තබයි.

“දශ ලක්ෂ ගණනක් ප්ලාස්ටික් බෝතල් දිරාපත් කිරීමේ ක්‍රියාවලියට සහය දෙන එන්සයිමයක් නිර්මාණය කිරීම අති විශිෂ්ට කර්තව්‍යයක් බව ඔවුහු දැන සිටියහ. තමන් හැදී වැඩෙන්නේ ප්ලාස්ටික් භාවිතය ලෝකයටම තර්ජනයක් වී ඇති කාලයක වන හෙයින් මෙම සොයා ගැනීම පිළිබඳව ඔවුන් දැඩි ලෙස උනන්දු වන බව පෙනී යයි.

කෙසේ වෙතත්, මෙම පරීක්ෂණ ප්‍රතිඵල සාමාන්‍ය ලෝකයට හඳුන්වා දීම විශාල අභියෝගයකි.

අවම මුදලක් වැය කර PETase එන්සයිමය වර්ධනය කර ගැනීම පළමුවෙනි අභියෝගය වන අතර, දෙවනුව එය කර්මාන්තයක් ලෙස වර්ධනය කර ගැනීමට වෙහෙසිය යුතුය.

මෙය ඉතා වේගවත් විද්‍යාත්මක ක්‍රියාවලියකි. ප්ලාස්ටික් ආහාරයට ගන්නා බැක්ටීරියාව දශක ගණනාවක සිට පරිණාමය වෙමින් පවතින අතර ඔවුන්ගේ ආහාර ජීර්ණය වීම සදහා අවශ්‍ය එන්සයිම හඳුනාගැනීමට හැකි වූයේ මෑතකදී වීම විශේෂත්වයකි.

නැවත සකසන ලද එන්සයිමවලින් වැඩි ප්‍රතිඵල බලාපොරොත්තු විය හැකිය. දිරාපත් නොවන ප්ලාස්ටික්වලින් ස්වභාව ධර්මයට වන හානිය නැවැත්වීමට මෙතෙක් සොයමින් සිටි විද්‍යාත්මක පිළිතුර මෙය වනු ඇත”

ප්ලාස්ටික්

‘එන්සයිම නිපදවීමේ කර්මාන්තයක්’

කර්මාන්තශාලාවල ‘පොලියෙස්ටර්’ නිපදවන්නේ පෙට්‍රෝලියම් භාවිතා කරමින් වන අතර, ප්ලාස්ටික් බෝතල් සහ රෙදි නිෂ්පාදනය කිරීමට ද එම අමුද්‍රව්‍ය භාවිතා කෙරෙයි.

PETase එන්සයිමය භාවිතා කිරීම තුළින් ‘පොලියෙස්ටර්’ නිෂ්පාදනයේ ආපසු හැරවීමක් සිදු වනු ඇත. එන්සයිමයේ ක්‍රියාකාරීත්වයෙන් දිරාපත් කෙරෙන ප්ලාස්ටික්, ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියෙන් පසු ඒවා නැවත නැවතත් භාවිතා කළ හැකි වීම ඊට හේතුවයි.

කෙසේවුවද, වර්ධනය කරන ලද එන්සයිමය කර්මාන්තයක් ලෙස එළි දැක්වීමට තවත් වසර කීපයක් ගත වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Pin It on Pinterest