ඊශ්‍රායලය සිරියාව තුළ ඉරාන ඉලක්කවලට ප්‍රහාර එල්ල කරයි

ගෝලාන් කඳුකරය වෙත ඉරානය එල්ල කළ රොකට් ප්‍රහාරයකට ප්‍රතිචාර වශයෙන් සිරියාව තුළ පිහිටි සමස්ත ඉරාන මිලිටරි යටිතල ව්‍යුහයටම පාහේ රොකට් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය පවසයි.

ගෝලාන් කඳුකරයේ තමන් අත්පත් කරගෙන සිටින ප්‍රදේශවලට ඉරාන විප්ලවීය හමුදාව බදාදා රාත්‍රියේ රොකට් ප්‍රහාර 20ක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව කියාසිටී

එයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය සිරියාව තුළ පිහිටි ඉරාන ආයුධ ගබඩා, භාණ්ඩ ප්‍රවාහන ස්ථාන සහ රහස් ඔත්තු සේවා මධ්‍යස්ථානවලට ඊශ්‍රායල හමුදාව ප්‍රහාර එල්ල කොට තිබේ.

එම ප්‍රහාරය පිළිබඳව ඉරානය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් පළ කොට නැත.

ජනාධිපති බෂාර් අල් අසාද්ට (Bashar al-Assad) සහාය පිණිස ඉරානය සිරියාවට සිය හමුදා පිටත්කර තිබෙන අතර, සිය ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් සිරියානු භූමිභාගයට එල්ලවූ “ඊශ්‍රායල ආක්‍රමණශීලී ක්‍රියාවක්” වැලක්වූ බව සිරියාවේ රාජ්‍ය මාධ්‍ය වාර්තාකර තිබුණි.

ඊශ්‍රායල මිසයිල ගණනාවක් වෙඩි තබා බිම හෙලූ බව ද එම වාර්තාවල දැක්විණ.

එහෙත් සිරියානු හමුදා ආරංචි මාර්ගයක් සනා පුවත් සේවයට පවසා තිබුණේ සිය ගුවන් ආරක්ෂක පද්ධතියට, රේඩාර්වලට සහ ආයුධ ගබඩාවකට මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල වූ බවය.

සිය පරම සතුරා විසින් සිරියාව තුළ ක්‍රියාත්මක කරනු ලබන බවට ඔවුන් පවසන “හමුදාකරණය” නවත්වන බවට ශපථ කරන ඊශ්‍රායලය, ඉරාන කඳවුරුවලට ප්‍රහාර කිහිපයක් එල්ල කොට ඇති බව විශ්වාස කෙරේ.

පසුගිය අප්‍රේල් මාසයේ ගුවන් හමුදා කඳවුරකට එල්ල කළ ප්‍රහාරයකින් ඉරාන විප්ලවීය හමුදා භටයන් හත් දෙනෙකු මරා දැමිණ.

ගෝලාන් කඳුකරයේ සිදුවූයේ කුමක්ද?

1967 දී හටගත් මැද පෙරදිග යුද්ධයේදී සමස්ත ගෝලාන් කඳුකරයම පාහේ අත්පත් කරගත් ඊශ්‍රායලය පසුව එය ස්ථිර වශයෙන් සිය භූමිභාගයට සම්බන්ධ කරගැනීම ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වී නැත.

ගෝලාන් කඳුකරය

ඉරාන විප්ලවීය හමුදාවේ විදේශීය මෙහෙයුම් අංශය වන කුඩ්ස් හමුදාව (Quds Force) විසින් ගෝලාන් කඳුකරයේ ඉදිරි ආරක්ෂක වළල්ලට රාත්‍රියේ රොකට් ප්‍රහාර 20ක් පමණ එල්ල වූ බව ඊශ්‍රායල හමුදාව බ්‍රහස්පතින්දා උදෑසන පැවසීය.

ඊශ්‍රායලයේ අයන් ඩෝම් (Iron Dome) ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් ඒ අතරින් රොකට් හතරක් නවතන ලද අතර අනෙක් රොකට් නියමිත ඉලක්ක ආසන්නයේ පතිත වූ බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශක ලුතිනන් කර්නල් ජොනතන් කොන්රිකස් (Lt Col Jonathan Conricus) පැවසීය. එහිදී කිසිවෙකුට තුවාල සිදු වූ බවක් හෝ අදාළ ඉලක්කවලට හානි සිදු වූ බවක් වාර්තා වී නැත.

එම ප්‍රහාරය එල්ල කරන මෙන් නියෝග කරනු ලැබ තිබෙන්නේ කුඩ්ස් හමුදාවේ අණ දෙන නිලධාරී ජනරාල් කසීම් සොලෙයිමානි (Gen Qassem Soleimani) විසින් බව සඳහන් කළ කර්නල් කොන්රිකස්, කෙසේ වුවත් එහි “අපේක්ෂිත ඉලක්කය ඉටු වී නැති” බවත් වැඩිදුරටත් පැවසීය.

මේ අතර සිරියාවේ සිවිල් යුද්ධය නිරීක්ෂණය කරන බ්‍රිතාන්‍යය පදනම් කරගත් සංවිධානයක් වන මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණ මධ්‍යස්ථානය (Syrian Observatory for Human Rights) අදහස් දක්වමින්, කුනේයිත්‍රා (Quneitra) ප්‍රාන්තය සහ දමස්කස් අගනුවර නිරිත දිග ප්‍රදේශයේ සිට ඉහත කී රොකට් ප්‍රහාර එල්ල කර තිබෙන බව තහවුරු කළේය.

Israeli forces in the occupied Golan Heights were placed on high alert on Tuesday night

එයට වගකිව යුත්තේ කවර පාර්ශ්වය ද යන්න සඳහන් නොකළ නමුත් රොකට් ප්‍රහාර එල්ල වූයේ ගෝලාන් කඳුකරයේ යුද මුක්ත කළාපයේ පිහිටි සිරියානු පාලනය පවතින බාත් (Baath) නගරයට ඊශ්‍රායලය බෝම්බ ප්‍රහාර එල්ලකිරීමෙන් අනතුරුව බව ද මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණ මධ්‍යස්ථානය පැවසීය.

ඊශ්‍රායලය මුලින්ම ප්‍රහාර එල්ල කළ බව සිරියාවට සහාය පළ කරන ප්‍රාදේශීය හමුදා සන්ධානයේ ප්‍රකාශකයෙක් AFP පුවත් සේවයට පවසා තිබුණි. එම හමුදා සන්ධානයට නායකත්වය දෙනු ලබන්නේ ඉරානය විසිනි.

රොකට් ප්‍රහාරවලටඊශ්‍රායල ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?

සිය ප්‍රහාරක යානා සිරියාව තුළ පිහිටි ඉරානයට අයත් “හමුදා ඉලක්ක දුසිම් ගණනාවකට”ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්විණ:

  • ඉරානය සහ “රැඩිකල් අක්ෂය” ලෙසින් ඊශ්‍රායල බලධාරීන් හඳුන්වන ඉරානය, සිරියාව, ලෙබනනයේ හෙස්බොල්ලා ව්‍යාපාරය සහ හමාස් වැනි පලස්තීන සන්නද්ධ සංවිධානවල සන්ධානයට අයත් රහස් ඔත්තු සේවා මධ්‍යස්ථාන
  • කුඩ්ස් හමුදාවට අයත් භාණ්ඩ ප්‍රවාහක මූලස්ථානයක්
  • දමස්කස් නුවරට දකුණින් පිහිටි කිස්වා (Kiswah) නගරයේ හමුදා භාණ්ඩ ප්‍රවාහන මධ්‍යස්ථානයක්
  • දමස්කස් අගනුවරට උතුරින් පිහිටි ඉරාන හමුදා කඳවුරක්
  • දමස්කස් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිහිටි කුඩ්ස් හමුදාවට ආයුධ ගබඩාවක්
  • කුඩ්ස් හමුදාවට අයත් රහස් ඔත්තු සේවා පද්ධති සහ කඳවුරු
  • ගෝලාන් කඳුකරයේ යුද මුක්ත කලාපයේ පිහිටි හමුදා කඳවුරු සහ නිරීක්ෂණ කඳවුරු
  • රාත්‍රියේ රොකට් ප්‍රහාර එල්ල කළ ඉරාන රොකට් විදිනය

ඒ අතර තිබේ.

ඊශ්‍රායලයේ “අනතුරු ඇඟවීමක්” නොතකා හරිමින් සිය ප්‍රහාරක යානාවලට සිරියාව වෙඩි ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව සිරියාවේ ගුවන් ආරක්ෂක පද්ධති කිහිපයකටත් ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි.

ඉන් අනතුරුව හර්ස්ලියා (Herzliya) නගරයේදී මාධ්‍ය හමුවක් ඇමතූ ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය අවිග්දෝර් ලීබර්මාන් (Avigdor Lieberman) කියා සිටියේ සිය හමුදාව “සිරියාවේ ඉරාන යටිතල පහසුකම් සියල්ලටම පාහේ පහර දුන්” බවය.

Syrian military air defence batteries lit up the night sky over the southern city of Deraa

“මෙහෙ වහිනව නම්, එහෙ ධාරානිපාත වැස්සක් වැටේවි කියල ඔවුන් මතක තියාගන්න ඕන,” ඔහු පැවසීය. “අපි මේ දැන් මේ පරිච්ඡේදය අවසන් කළ බවට හැම දෙනාමට පණිවුඩය ලැබෙන්න ඇති කියල මම බලාපොරොත්තු වෙනව.”

තත්වය “උග්‍ර කිරීමේ කිසිදු බලාපොත්තුවක් නැතත්,” තමන් “ඕනෑම තත්වයකට මුහුණ දීමට සූදානමින් සිටිය යුතු,” බවත් ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඊශ්‍රායලය ඉරාන ඉලක්කවලට පහර දෙන්නේ ඇයි?

සිය යුදෙව් රාජ්‍යයේ පැවැත්ම අවසාන කළ යුතු බවට දිගින් දිගටම අවධාරණය කරන ඉරානය ඊශ්‍රායලයේ පරම සතුරාය.

සිරියානු ජනාධිපතිවරයාගේ සමීප මිතුරෙකු වන ඉරානය සිය හමුදා භටයන් සිය ගණනක් සිරියාවේ රඳවා තිබේ. ඔවුන් සිරියානු හමුදාවට උපදෙස් දෙන බව ඉරානය පවසයි.

ඉරානය විසින් පුහුණු කරනු ලැබ, අවි ආයුධ මෙන්ම මූල්‍යාධාර ද සපයන නිල නොවන සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයන් දහස් ගණනක් ද සිරියානු හමුදාව සමග එක්ව සටන් වැදී සිටිති.

ජනාධිපති අසාද්ට සහාය දෙන අතරවාරයේ, ඉරානය සිරියාවේ සිය හමුදා ශක්තිය තර කොට තිබේ. ඊශ්‍රායලය එය සලකන්නේ තමන්ට එරෙහිව එල්ල වන සෘජු තර්ජනයක් ලෙසිනි.

“ඕනෑම මොහොතක” ඉරානයට එරෙහිව ඊශ්‍රායලයට යුද වැදිය හැකි බව අගමැති බින්යමින් නෙතන්යාහු මීට ඉහතදී අනතුරු අඟවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Pin It on Pinterest